Thursday, February 21, 2013

Master's in Abroad

මින් පෙර 25 අවුරුද්දක් පුරාවට ම ඈ හැම ගමනක් ම ගියේ මා සමග ය.
ඈ ඉතා කුඩා වියේ අපට කාර් නැති අවදියේදී මෝටර් සයිකලයේ මැද ලක්ෂ්මීට ද, මටද මැදි ව ගිය හැටි ද, ඒ යන ගමන් අතොරක් නැති කුරු කුරු කතා කී සැටි මට නැවත නැවතත් සිහිපත් වෙයි.
අප ගෙදරින් පිටත් ව යන්නට සූදානම් වූ හැම විටෙක ම දුව විත්, මා මෝටර් සයිකලයට ගොඩ වන ආකාරයට ම කකුල සීට් එකට උඩින් ගෙන වාඩි වන්නා සේ ඈ ද මෝටර් සයිකලයට ගොඩ වෙයි. හැඬලය දෙපසින් අල්ලාගෙන අපි දෙන්නා වත්ත වටේ රවුමක් යන්නෙමු. ඉන් පසු ඉන් බසින ඈ කම්මුල් දික් කර ගෙන ඉන්නී ය.. ඒ උම්මාව දෙන තුරු ය. බයිසිකලය මත සිට ම තුන් කුදු ව නැමී මම ඇගේ සියොමැලි කම්මුල් රෝස පෙත්ත සිප ගනිමි.
බඩට නොකා වුව ද දවසම ගත කරන්නට ඇවැසි ප්‍රාණ වායුව ඒ සියුමැලි දෙකොපුල් සුවඳ මත තැවරී ඇත්තේ ය.
ඉනික්බිති ඈ මොන්ටිසෝරි ගියේ මා සමග ය.
පාසැල් ගියේ මා සමග ය.
විභාගයට වාඩ් වන්නට ගියේ මා සමග ය.
ටියුෂන් පන්ති ගියේ මා සමග ය.
ලොකු විභාගයට වාඩි වන්නට ගියේ මා සමග ය.
මුල් ම රැකියාව සසඳහා සම්මුඛ පරීක්ෂණයට ගියේ මා සමග ය.
මුලින් ම රැකියාවට ගියේ ද මා සමග ය.
ඉන් අස් ව විශ්ව විද්‍යාලයට ගියේ මා සමග ය.
දෙවනු වද, තුන්වනුව ද ලද හැම රැකියාවකට ම ගියේ මා සමග ය.
ඒ යන අතර මග "මට උම්මා එක දුන්නෙ නෑ නේද..?යි අසා මහා සෙනගක් මැද්දේ වුව ද, මුහුණ ඇද කර දික් කරගෙන ම, කම්මුල් පෙති පාන්නී ය. 
මම ඇගේ ප්‍රාණ වායුව මගේ දෙනාස් පුඩු හරහා උරා ගන්නෙමි.
අද ඈ මහ පාන්දර අපට මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී
සිය ජංගම දුරකතනයේ බොත්තම් ඔබා 
මං යුනි එකට යනවා යැයි කියන්නී ය.
ලෝකයෙන් අඩක් එහා කෙළවර සිටින ඇය
පැය හතහමාරක් කාලයක දුරකින් 
ඈත එපිට රටක සිටින ඈ 
අද තනිව ම සිය පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන්නට යන්නී ය.
එතරම් ඈත දුර රටක සිටිය ද ඈ මට කම්මුල් පාන්නී ය.
මීට පෙර දෙනෝ දහසක් එහා මෙහා ගිය 
මහා කතරක් මැද සිට කම්මුල් පෑ විට 
මම ඒ සිප ගත්තා සේ ම සෙනෙහසින් යුක්ත ව 
ඒ සුකොමළ රෝස පෙති කම්මුල සිප ගන්නෙමි.
වෙනදාට වාහනයෙන් බැස, 
මා කරන්නාක්මෙන් ම බෑගය කරේ එල්ලාගෙන
එක් උරිස්සක් මදක් උස ව පැද්දි පැද්දී යන ඈ
අද මට දෑස් මානයේ පෙනෙන්නේ නැත.
ඒත් පුතේ
උඹ යන ගමන 
මට අදත් හෙටත් එකසේ ම පෙනෙන වග මම දනිමි.
මම මහා ලොතු හුස්මක් ගනිමි.
ඒ හුස්ම පොද හරහා 
මෙතෙක් මා උඹෙන් ලද සුවඳ 
ඒ හා සමානව ම මට යළි යළිත් දැනෙන්නේ ය...!!
"ඉවර වෙච්ච හැටි‍යෙ මට රිං එකක් ගහන්න පුතේ ...
මං ඔයාව ගන්නං" යැයි පුරුද්දට කියමි....!!